පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos Jr ඉන්දියාවට පැමිණ සිටියි. ඒ, පස්දින රාජ්‍ය සංචාරයක් සඳහායි. ඉන්දු - පිලිපීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරේ. ෆර්ඩිනෑන්ඩ් මාර්කෝස් ජූනියර් 2022 දී පිලිපීනයේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා විසින් ගුවන් තොටුපළේදී පිලිපීන ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. ඔහු සමග ජනපති ආර්යාව සහ එරට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් මෙම ඉන්දීය සංචාරය සඳහා එක්ව සිටියි. සිය සංචාරය අතරතුර පිලිපීන ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවීමට නියමිතයි.
Published