බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 36 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා පවසා තිබෙනවා.

සැකපිට පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත් කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු පැදි 13 ක් පොලිස් භාරයට ගත් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අටලුගම ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව සහ කිසිදු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී අයුරින් යතුරුපැදි ධාවනයේ යෙදෙන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාට දිගින් දිගටම ලද පැමිණිලි කීපයක් අනුව එම විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ‍පොලිසිය සදහාන් කර සිටියා.

පුරා පැය හතරකට ආසන්න කාලයක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර කොට්ඨාස රථවාහන අංශයේ සහ කොට්ඨාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සහ රථවාහන වැරදි සිදුකළ පුද්ගලයන්ට එරෙහිව පානදුර මහේස්ත්‍රත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් දසිල්වා මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න අමනසේකර මහතාගේ මෙහියවීමෙන් මෙහෙයුම සිදු කර තිබෙනවා.