මේ වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් කිහිප දෙනෙකු විසින් ජංගම දුරකථන මාර්ගයෙන් බාහිර පුද්ගලයින්ට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා විසින් එම නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

තම කොට්ඨාශයට ලැබුණු නිර්නාකමික පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන සිදු කරන බව එහිදී පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාල දුරකථන ඇමතුම් ලබාදුන් රැඳවියන් හඳුනා ගැනීම සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා විමර්ශන සිදුකිරීමට තීරණය කර ඇති බවත් අදාල දුරකථන විශ්ලේෂණ වාර්තා පෞද්ගලික දුරකථන සමාගම් වලින් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසිය විසින් ඉල්ලා සිටින දුරකථන ඇමතුම් විස්තර ලබා දෙන ලෙස පුද්ගලික දුරකථන සමාගම් කීපයකට නියෝග කලා.

ඉන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.