බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි පැමිණිලිකරු සේවය කරනු ලබන පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා. පසුව මේ පිළිබඳව කොන්දොස්තරවරයා සිදු කළ පැමිණිල්ලට අදාලව බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරු කඩුවෙල බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.