සියයට 50 බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන 178ක බලය පිහිටුවීමේදී යම් ගැටලුවක් ඇතිවිය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අදාළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සියලු දේශපාලන පක්ෂ ජනතාව ගැන සිතා කටයුතු කළ යුතු බවයි.

මේ අතර 2025 පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරුණා.

පළාත් පාලන 161ක් සඳහා නිකුත් කෙරුණු එම ගැසට් පත්‍රයට අනුව හෙට දිනයේ සිට එම ආයතනවල කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීම සිදු කෙරුණා.