මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය  ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
එම සැකකාරිය මිද්දෙණිය අවට සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වී තිබේදැයි දැක්වෙන සාක්ෂි සම්පීඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට නියම කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  සුහර්ෂි හේරත්  මහත්මිය කරුණු ඉදිරිපත් කළා.
" ස්වාමීනි...  2022 වසරේ ජූලි මස 18 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් හෙරෝයින් මත්කුඩු කිලෝග්‍රෑම් 37.374 ක් අත්අඩංගුවට ගත්තා. ඉන් පසුව මේ සැකකාරිය ඇයගේ සැමියා සමග  ප්‍රදේශයෙන් පලා යනවා. ඒ වගේම දුරකථන සිම් කාඩ්පත් ඉවත් කරනවා. ඒ වගේම මේ සැකකාරිය අයගේ සැමියා සමග වවුනියාව දිස්ත්‍රික්කයෙන් විදේශ ගමන් බලපත්‍රයක් අරගෙන රටින් පලා යනවා. පසුගියදා අත්අඩංගුවට ගන්නා තුරු මොවුන් විමර්ශන නිලධාරීන් මගහැර රතු නිවේදන ලබා සිටි අපරාධ චෝදනා ලබා සිටි පිරිසක් ඇසුරේ තමයි ඇය සැගවී හිටියේ. ඒ නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකාරියට අදාලව විමර්ශනයක් කරන්න බැරි උනා. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.  පසුව නීතිපතිවරයා මැදිහත් වී එම නඩුව කොළඹ මහාධිකරණයට මාරු කළා. එම නඩුව දැන් විභාග වෙමින් තිබෙනවා. විදේශගතව සිටින සාක්ෂිකරුවෙකුගෙන් සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂිත් ලබාගෙන තිබෙනවා. මේ සැකකාරිය සහ ඇයගේ සැමියාට විරුද්ධව  විදේශ ගමන් තහනමකුත් ලබාගෙන තිබුණා. ඒත් ඔවුන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් ලබාගත් අවිධිමත් ගුවන් ගමන් බලපත්‍ර වලින් විදේශගත වී තිබෙනවා. මෙම සැකකාරිය සහ ඇයගේ සැමියා හිතාමතාම විමර්ශන නිලධාරීන් සහ ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශය මඟහැර පලායාම නිසා මෙම විමර්ශන කටයුතු අඩාල වුණා. මෙම සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකිවීම නිසා ඇය නොමැතිව නඩු විභාගයක් පවත්වන්න බැරි වුණා. සැකකාරියක් හැටියටත් නම් කරන්න බැරි වුණා. පසුගිය දින වල මිද්දෙණිය ප්‍රදේශයෙන් විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගත්තා. ඒ ගැන රටම දන්නවා. එම ජාවාරම් වලට මෙම සැකකාරියගේ සම්බන්ධයක් තිබේදැයි විමර්ශන සිදු කළ යුතුයි. " යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම අවස්ථාවේදී සැකකාරිය ඇප මත මුදා හරෘනු ලැබුවොත්, විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි නිසා ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කළා." ස්වාමීනී... මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නෑ. 2022 වසරේ ජූලි මස 18 වනදා තමා ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේ. ඒත් මේ සැකකාරිය විදේශගත වෙලා තිබෙන්නේ 2023 වසරේ ජනවාරි මාසයේ. මාස ගණනාවක් විමර්ශනය කරන්න හැකියාව තිබුණා. ඇය සැකකාරියක් වශයෙන් නම් කරන්න හැකියාව තිබුණා. විත්තිකාරිය නොමැතිව  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ විත්තිකාරිය නොමැතිව නඩු විභාගයක් පවත්වාගෙන යාමට හැකියාව තිබුණා. එහෙත් ඊට අදාළ කිසිම ක්‍රියාමාර්ගයක් පැමිණිල්ල ගත්තේ නෑ. මේ මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ. එසේනම් ඒ නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන්න බැහැ. අධිකරණ බලය සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තිබෙනවා." ඒ අනුව සැකකාරිය තව දුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණය ඉල්ලා සිටීයා.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය" ස්වාමීනි... මේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟම මේ සැකකාරිය තමන්ගේ සැමියා සමග පදිංචිව සිටි ප්‍රදේශයෙන් පලා ගියා. දුරකථන සිම්පත් ඉවත් කළා. ඒනිසා මේ තැනැත්තියගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගන්න නොහැකි වුණා. ප්‍රකාශයක්වත් සටහන් කර නොගත් නිසා මෙම සැකකාරියක් නොමැතිව නඩු විභාගයක් පවත්වාගෙන යන්න බැහැ. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස මේ සැකකාරිය සිටින බවට සැක කළ හැකි තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි. ඇඹිලිපිටියේ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වාර්තාවක් යොමු කර තිබුණා.  පොලිස්පතිවරයා විසින් යැවූ එම වාර්තාවේ ඡායාරූප මෙන්ම මෙම සැකකාරිය ඇතුළු පිරිසක් ගැන කරුණු ඇතුළත් වෙනවා. " යනුවෙන් සඳහන් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් " ඔබතුමිය වාචිකව සඳහන් කළ මේ කාරණා අද දින පොලීසිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී නෑ" යනුවෙන් කියා සිටියා.
ඊට ප්‍රතිචාර දැක්වූ  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය " ස්වාමීනී... හිටපු පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඉදිරිපත් කළ වාර්තාවේ ඒ ගැන සඳහන් වෙනවා." යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා
" මෙම සැකකාරිය එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ කරුණු වාර්තා කර ඇති නිසා මෙම නඩුවේ අධිකරණ බලය ගැන මේ අවස්ථාවේ දී මා කරුණු සලකා බලන්නේ නැහැ. මේ සැකකාරියට එරෙහිව පවතින සම්පූර්ණ සාක්ෂි සම්පීඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මා මීට පෙර නියම කළා. එහෙත් එවැනි වාර්තාවක් ඉදිරිපත් කර නෑ. යම් සාක්ෂි වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළ කරුණු. ඒ නිසා මේ සැකකාරිය මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වී තිබේදැයි පැහැදිලි කෙරෙන සවිස්තර සාක්ෂි සම්පීඩනයක් මීළඟ දින ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා." යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
කෙසේ වෙතත් මෙම සැකකාරියට එරෙහිව අන්තරායකර විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1) වගන්තිය යටතේ පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කර ඇති නිසා මෙම සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳව තම අධිකරණයට සලකා බැලිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.