පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
එම පොලිස් කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙතයි.
ඒ අනුව අදාළ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ මෙම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවන ශාධිකා ලක්ෂානී නමැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අදාල සැකකාරියගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.


