රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී ටී 81 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 97ක්, මැගසින් දෙකක් සහ යුද හමුදා නිල ඇඳුමක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
බැකෝ සමන් නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතුවලින් අනතුරුව සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.
කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන එනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ විවිධ අපරාධවලට සම්බන්ධ සහ එම අපරාධවලට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිපදෙනෙකුම මේ වන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම හමුවේ ගිනි අවි මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක්ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.
කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම් සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර බොරැල්ල, සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ වැටලීම් ඒකකය නිලධාරින් කණ්ඩායමක් විසින් දමන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක්ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු යුද හමුදාවේ රාජකාරී කරමින් සිටියදී 2015 වසරේදී ඉන් පළා ගොස් ඇති බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
පසුගිය 24 වනදා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය පැවසුවේ.
ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමග අත්අඩංගුවට ගත් එම සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
මේ අතර මරදාන කෝවිල්වත්ත ප්‍රදේශයේ පසුගිය 06 වනදා සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් කෙසෙල්වත්ත ශාන්ත සෙබෙස්තියන් මාවතේ සිදු කළ වැටලීමකදීයි.




