ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු සහ ගංවතුර ආපදා තත්වයට යටතේ ශ්‍රී ලංකාව පුරා බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් මරණයට පත් වී ඇති බවත්, එනිසා බිත්තර මිළ දැනටමත් ඉහල ගොස් ඇති බවත්, මෙම පසුබිම යටතේ රට පුරා බිත්තර හිගයක් නිර්මාණය විය හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද (04) දින උදෑසන පවසා තිබෙනවා.

සීදූව රද්දොළුගම පිහිටි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජයවර්ධන මහතා පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා මේ එළඹෙමින් තිබෙන නත්තල් සහ 2026 අලුත් අවුරුදු සමය තුළ වසරේ කේක් අලෙවියෙන් 25% ක ප්‍රමාණයක් සිදු වන බැවින්, බිත්තර හිගයක් මතු වුවහොත් එය උත්සව සමයට බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු ඇගවීමක් ද එම මහතා විසින් කර තිබෙනවා.

බේකරි කර්මාන්තය සදහා පිටි, සීනි, බිත්තර සහ මාගරින් අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය 04 ක් බවත්, බිත්තර හිගයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම බේකරි නිෂ්පාදන වල මිළ ඉහළ යාමක් හෝ සමස්ථ බේකරි නිෂ්පාදන කර්මාන්තය ඇණ හිටීමකට ලක් විය හැකි බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.

එනිසා රජය වත්මන් තත්වය පිළිබඳව හොදින් අධ්‍යයනය කර, බිත්තර හිගය සදහා විකල්ප විසදුම් කරා යෑමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් ද කරනු ලබනවා.