ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහා පෙරහැර ආරම්භ කිරීමේ අවස්ථාව හා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පල කල අදහස් පහතින් දැක්වේ. අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බුදුදහමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් ඊට අමතරව සෙසු ආගම්වලට ද සංස්කෘතීන්වලට ද නිසි තැන ලබා දෙමින් එම අනන්‍යතාව රැකෙන ආකාරයේ විශිෂ්ට ආගමික සංස්කෘතියක් අප රටේ ඇති බවත් රටේ ඇති සියලුම ආගම දහම ආරක්ෂා වෙමින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා කැපවීම සියලු දෙනාගේම වගකීම බවත් එසේම පෙරහර සංස්කෘතිය තුළින් බිහි වන දහම් සුවඳ තුළින් රටටත් ජනතාවටත් සෞභාග්‍යය උදා වී බුදුදහම වැජඹෙන උත්තරීතර යුගයක් රට තුළ නිර්මාණය වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 75 වැනි වරටත් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහා පෙරහැර ක්‍රියාත්මක වීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙරහැර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබා දීම ද සිදු කරන ලදී.