බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 15ක් ඇතුලු තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස කදවුරේ නිලධාරීන්, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව එම මෙහෙයුම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව එම බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රදවා සිටින ‘ඒ’ අංශයේ සිරමැදිරි 46ක් සෝදියට ලක් කර තිබෙනවා. එම අංශයේ 01 සිට 15 දක්වා වූ සිරමැදිරිවල සිවිලිමක් සවි කර ඇති අතර 16 සිට 46 දක්වා වූ සිරමැදිරි කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් සමන්විතයි.

ඒ අනුව 01 සිට 15 දක්වා වූ සිරි මැදිරිවලින් එකක ‘දෙමටගොඩ චමින්ද’ රඳවා සිටින බවයි වාර්තා වුණේ.

ඔහු රදවා සිටින සිරමැදියේ සිවිලිම මත බෑගයක් තුළ සගවා තිබූ තහනම් භාණ්ඩ කිහිපයක් ඊයේ දිනයේ සිදුකළ එම මෙහෙයුමේදී සොයාගෙන තිබෙනවා.

ඒ අතරට නවීන වර්ගයේ ජංගම දුරකතන 04ක්, සාමාන්‍ය වර්ගයේ ජංගම දුරකතනයක්, බැටරි 03ක්, පවර් බෑන්ක් එකක් ඇතුළු තවත් තහනම් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ‘ලොකු පැටී’ රඳවා සිටින සිර මැදිරියේ සිවිලිම මත සඟවා තිබූ නවීන වර්ගයේ ජංගම දුරකතන 02ක් සහ තවත් තහනම් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ ‘ඒ’ අංශයේ 16 සිට 46 දක්වා වූ සිරමැදිරිවල ස්ලැබ් එක මත සඟවා තිබූ තවත් තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එම සිරමැදිරි කොටසේ තහනම් භාණ්ඩ සැගවීමට කාණුවක් සහිත විශේෂ ස්ථානයක් සකස් තිබූ බවත් වාර්තා වුණා.

එම ස්ථානය සිරමැදිරි ඉදිකිරීම් සිදු කරන අවස්ථාවේ එලෙස සකස් කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඒ අනුව ‘වෙලේ සුදා’ සහ තවත් ප්‍රබල ඝණයේ අපරාධකරුවන් පිරිසක් රඳවා සිටි සිරමැදිරිවල තිබී තහනම් භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇති බව වාර්තා වුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස කඳවුරේ නිලධාරීන්, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ දිනයේ සිදුකළ එම මෙහෙයුමේදී සොයාගෙන ඇති ජංගම දුරකතන 15න් 14ක් නවීන වර්ගයේ ජංගම දුරකතන බවයි පොලීසිය පැවසුවේ.

ඊට අමතරව දුරකතන චාජර් 16ක්, හෑන්ඩ් ෆ්‍රී 11ක්, සිම්පත් 03ක්, ඩේටා කේබල් 21ක් ඇතුළු තවත් තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.