බොන්ඩි වෙරළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු වෛරී ප්‍රකාශ මර්දනය සදහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් තීරණය කර තිබෙනවා.

ඒ සදහා පැනවෙන නව නීති වෛරය බෙදීම සහ රැඩිකල්කරණය පතුරවන පුද්ගලයින් ඉලක්ක කරනු ඇති බවයි කැන්බරාහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ගේ වීසා අවලංගු කිරීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම සදහා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නව බලපතල ලබාදීමට තීරණයක් වී ඇති අතර අධ්‍යාපන පද්ධතිය තුළ යුදෙව් විරෝධීවාදය වැළැක්වීම මැඩපැවැත්වීම සහ නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සදහා නව කාර්ය සාධක බලකායක් පිහිටුවීමටද ඕස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබෙනවා.

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළතීරයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලැබුවා.

යුදෙව් ප්‍රජාවගේ හනුක්කා නමැති උත්සවයක් ඉලක්ක කර එම විවෘත වෙඩි තැබීම සිදුකර තිබුණේ 50 හැවිරිදි සහ 24 හැවිරිදි පියෙකු සහ පුතෙකු විසින්.

ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා එම සිද්ධිය හැදින්වූයේ යුදෙව් විරෝධී ත්‍රස්තවාදී සිදුවීමක් ලෙසටයි.

එම ප්‍රහාරය කිසියම් දෘෂ්ටිවාදයකින් පෙළඹී සිදු කරන ලද ප්‍රහාරයක් බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.