බොරැල්ල ප්‍රදේශයේ ඊයේ දින සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එම සිද්ධියට සම්බන්ධ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් එම අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරැල්ල පොලිසියේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහේස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ බොරැල්ල පොලිසියේ නිලධාරීන් පැයසුවේ ඊයේ පෙරවරු 08.45ට පමණ බොරැල්ල කනත්ත වටරවම ආසන්නයේ සිදුවූ මෙම මාරක රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතල තුවාල ලබා තිබෙන බවයි.

ඊට අමතරව යතුරු පැදි හයකට සහ කාර් රථ දෙකකට හානි සිදුවූ බවත් එම නිලධාරීන් කියා සිටියා.

තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීසිය නිලධාරියකුත් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

තුවාලකරුවන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම රථය පැදවූ සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව තිබෙන බවත් පොලිසිය අධිකරණයට කරුණු පෙන්වා දුන්නා.

මෙම රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බවත් ඇන්ජිම අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අධික ලෙස රත්වීම හේතුවෙන් තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම මෙම රියැදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බවත් මීටර් දෙසීයක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරිත්වයකින් තොරව ධාවනය වී ඇති බවත් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවා.

මෙම රථය රජයේ මෝටර් රථ පරීක්ෂකාවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර එහි අත් තිරිංග අක්‍රිය තත්ත්වයක පවතින බවට හෙළි වී ඇති අතර තිරිංගවල තෙල් පවා නොතිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම වාහනයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන දැනම රියැදුරු අදාල වාහනය ධාවනය කර තිබෙන බවත් ඔහු අනතුර සිදුවන්නට ගිය අවස්ථාවේ වම් පැත්තට හරවා කනත්ත තුළට මෙම රථය රැගෙන ගියා නම් සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම රථයේ හිමිකරු ද අදාල වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකාර රියැදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු ආබාධයකින් තොරව මෙම රථය ධාවනය කර තිබෙන බවයි.

හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත් ඔහුට මෙවැනි වාහනයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික තිබෙන බව සඳහන් කළ එම නීතිඥවරයා අදාල ලේඛනය ද අධිකරණයට ඉදිරිපත් කළා.

අදාල රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බවට පොලිසිය ප්‍රකාශ කළත් එවැනි ද්‍රව්‍යයක් ඔහු විසින් පානය කර තිබෙන්නේ දින හතරකට පෙර බවත් නීතිඥවරයා පැවසුවා.

අදාළ වාහනය පදවන අවස්ථාවේ ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් පානය කර නොසිටි බවයි නීතිඥවරයා කියා සිටියේ.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.

කෙසේවෙතත් අදාළ රථයේ හිමිකරු ඇපමත මුදා හැරීමට ද අධිකරණය නියම කළා.