බො‍රැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා. සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබුණා. ටී-56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල කර තිබූ බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතර සිටි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. අදාළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසියේ කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කළා. කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙතද භාර දී තිබෙනවා.