මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් රජය වෙත භාරදෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් අද ඉල්ලීමක් කළා. රජය විසින් දැනටමත් ස්වේච්ඡාවෙන් පුනරුත්තාපනය වීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ගොඩනගා ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එම මධ්‍යස්ථාන හරහා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කර යළි ඔවුන්ගේ පවුල් වෙත භාරදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද ආණ්ඩුවට අමතරව කළු පාලනයක් ද රට තුළ ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

නීති විරෝධී කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නිලධාරින්ගෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉල්ලීමක් කළා.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක 18යි 18 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්. “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත එම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දුන් බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ. ඒ අනුව 18යි 18 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකි වනවා.