පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 1,214කට අයත් පුද්ගලයින් 4,623 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අතරින් පුද්ගලයින් 129 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන දෙකක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ.

ආපදා හේතුවෙන් සිදුවී ඇති අර්ධ නිවාස හානි ගණන 1,184ක්. ඒ අතරින් අර්ධ නිවාස හානි 327ක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

පුත්තලම දිස්ත්‍රික්කයේ අර්ධ නිවාස හානි 188ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අර්ධ නිවාස හානි ගණන 105ක්.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

පැවති තද වැසි හේතුවෙන් වෙහෙරගල, කුකුලේ ගඟ සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අද දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමත තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර නානුඔය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග සමර්සෙට් වතුයායේ ලැන්ඩල් කොටසේ නායයෑමේ අවදානමක් හේතුවෙන් වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් 28 කට අයත් සාමාජිකයන් 120 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ අවතැන්වූ සාමාජිකයන් සමර්සෙට් වතුයායේ කලාපුරම් දමිළ මහ විද්‍යාලයේ තාවකාලිකව පදිංචිකර ඇති බවයි. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වතු අධිකාරිය විසින් ලබා දිමට පියවර ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.