ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමණය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ කලාපීය පාර්ශ්වකරුවකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ සබඳතා පැවැත් වූ සුන්දර මාලදිවයිනට පැමිණීමට ලැබීම පිළිබඳව මෙහිදී සතුට පළ කළ ජනාධිපතිවරයා දෙරට අතර වූ සමීප මිත්‍රත්වය සහ ඓතිහාසික සබැඳියාව සිහිපත් කළේය.

ශ්‍රී ලංකා ජනපතිගේ මාලදිවයින් සංචාරය දෙරට එක්ව සමෘද්ධිය කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පවසා තිබෙනවා.