සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.

කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව සිය් පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 90ක් රැස් කරගෙන සිටියා.

ආරම්භක පිතිකරු අනමුල් හක් ලකුණු නොලබා දැවී ගියේ හසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

අනෙක් ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 14කට දැවී ගිය අතර මොමිනුල් හක් ලකුණු 29කට දැවී ගියා.

එම කඩුලු දෙකම දවා ගත්තේ අද දිනයේ ටෙස්ට් වරම් හිමි කරගත් තරිඳු රත්නායකයි.

ඔහුට අමතරව ලහිරු උදාරද ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරඟයද වනවා.

ඒ හේතුවෙන් මැතිව්ස්ට උපහාර දැක්වීමේ උත්සවයක්ද තරඟය ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඔහුට උපහාර පිරිනමමින් විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම්වල ක්‍රීඩකයින් මෙන්ම මැතිව්ස්ගේ පවුලේ සාමාජිකයින්ද එම අවස්ථාවට එක්ව සිටියා.