මැලේසියාවේ පැවැත්වෙන ASEAN හි අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වී සිටින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා රුසියානු විදේශ අමාත්‍ය ගරු Sergey Lavrov මහතා හමු වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකා-රුසියානු සබඳතා පිළිබඳව සහ ජාත්‍යන්තරයේ දෙරටට අදාළ කරුණු පිළිබදව සාකච්ඡා කර ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් බ්‍රික්ස් සමග සමීපව කටයුතු කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් කළ සන්නිවේදනය පිළිබඳව රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම පියවර පිළිබඳව රුසියාව සිය කැමැත්ත ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයකට නිසැකවම සහාය දීමට සූදානම් බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

තවද, ශ්‍රී ලංකාව දිගු කලක් දකුණු ආසියාවේ රුසියාවේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වී ඇති බව අමාත්‍ය ලැව්රොව් මහතා තවදුරටත් සඳහන් කර ඇත.

ද්විපාර්ශ්වික සබඳතාවල පුළුල් සහ ධනාත්මක ඓතිහාසික ගමන්මග සිහිපත් කරමින් අනාගත සහයෝගීතාවය සඳහා තවදුරටත් දෙරට අතර සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ පවත්නා දිගුකාලීන මිත්‍රත්වය සහ විශේෂයෙන් තීරණාත්මක කාලවලදී අඛණ්ඩව රුසියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ද ස්තූති කර තිබෙනවා.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා අගය කළ ඔහු, බහුවිධ අංශ හරහා සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ප්‍රකාශ කර ඇත.