මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක කාන්තාවට වෙඩි තැබූ නාඳුනන පුද්ගලයින් දෙදෙනා පලා ගිය බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බටපොල - බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල එම යතුරුපැදිය දමාගොස් තිබු බවයි බද්දේගම පොලීසිය සඳහන් කර සිටියේ.

මේ අතර, මෙම වෙඩිතැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ රාත්‍රි 8.30ට පමණ කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක මුදල් අයකැමි ලෙස සිටි එම කාන්තාවට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබුණා.

පසුව බරපතල තුවාල ලබා සිටි කාන්තාව බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් යොදාගෙන ඇති බවට පොලිසිය සක පල කරන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.