'මෙලිසා' සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජැමෙයිකාවේ පිරිමින් තිදෙනෙකු සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනකට විදුලිය නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජැමෙයිකාවේ රාජ්‍ය නායකයා වන චාල්ස් රජු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලිසා සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ සහ කැරිබියන් දූපත් හරහා සිදු වූ හානිය පිළිබඳව තමා "දැඩි කනස්සල්ලට" සහ "දැඩි කණගාටුවට" පත්වන බවයි.

"වාර්තාගත කුණාටු අතරින් ඉතාමත් භයානක මෙම කුණාටුව අපට මතක් කර දෙන්නේ මෙම හද කම්පා කරවන ව්‍යසනයෙන් ජීවිත හා ජීවනෝපායන් බිඳ වැටී ඇති සියලු දෙනා වෙනුවෙන් සොබාදහමේ සමතුලිතතාවය සහ සමගිය යථා තත්ත්වයට පත් කිරීමේ වඩ වඩාත් හදිසි අවශ්‍යතාවයයි," ඔහු පැවසීය.