තරංගාකාර සුළං ප්‍රවාහයක් හෙට දිනය වනවිට ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වර්ධනය වීමක් සිදුවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ඉහළ වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ හේතුවෙන් සිදුවිය හැකි ආපදා සම්බන්ධව අවධානය යොමු කරමින් එයින් ආරක්ෂා වීම සඳහා නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ සඳහන් කළා.

මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම

දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.