යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිස් නිලධාරීන්ට ගල් ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
මූලායි ප්රදේශයේ දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එලෙස ගල් ප්රහාර එල්ල කර තිබුණා.
තැන තැන සිදුවන වෙඩිතැබීම් දිවයිනේ ඇතැම් ප්රදේශවලින් තවදුරටත් අසන්නට ලැබෙනවා.
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ජූලි 18 වනදා දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 71ක් වාර්තා වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 38 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
තවත් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර පසුගිය කාලයේ ඇතැම් නොසන්සුන්තා පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තැබූ සිද්ධීන් කිහිපයක්ද වාර්තා වුණා.
එවැනි එක් සිදුවීමක් ඊයේ දිනයේ වාර්තා වුණේ යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි, මූලායි ප්රදේශයෙන්.
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් අනතුරුව එය දෙපිරිසක් අතර ගැටුමක් දක්වා වර්ධනය වුණා.
එහිදී එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම තවත් යතුරු පැදියකට පහරදි තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණේ හටගෙන තිබූ ගැටුම සමතයකට පත් කිරීම සදහායි.
එහෙත් එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට ගැටුමට සම්බන්ධ පුද්ගලයින් විසින් ගල් ප්රහාර එල්ල කර තිබෙනවා.
එහිදී පැවති නොසන්සුන්තාව පාලනය කිරීම සදහා අහසට වෙඩි තැබූ බවයි පොලීසිය පැවසුවේ.
ගැටුමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් යාපනය, මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.