යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද සාකච්ජාවක් පැවත්වීමට නියමිතව තිබෙනවා. ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා යුරෝපීය නායකයින් පිරිසක්ද ඇමරිකාවට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ බි්‍රතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් වොෂින්ටනයට පැමිණීමට නියමිතව තිබෙනවා. එමෙන්ම යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් හා නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට්ද යුක්රේන ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ජාව සඳහා සහභාගී වන බවට තහවුරු කර තිබෙනවා. කෙසේවෙතත් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පළමුව ඔවුන්ගේ නියෝජිතයින් සමඟ තනි තනිව හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ සාකච්ජාවෙන් අනතුරුව යුරෝපීය නායකයින් සමඟ සාකච්ඡා සිදු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සාකච්ඡාවක් පසුගියදා අමෙරිකාවේ ඇලස්කාවේ එල්මෙක්ඩෝෆ්, රිචඩ්සන් හමුදා කඳවුරේදී පැවැත්වුණා. කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවද අවසන් එකඟතාවකට නොපැමිණි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේ.