යුක්‍රේනයේ ගැටුම විසඳීම සඳහා රුසියාව ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටින අතර එහිදී දෙරට අතර ඉහළ මට්ටමේ උපාය මාර්ගික සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදීයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් නැගෙනහිර වෙරළබඩ නගරයක් වන වොන්සාන්හිදී හමුවූ අතර එහිදී දෙරටේ විදේශ අමාත්‍යවරු ඔවුන්ගේ දෙවන උපායමාර්ගික සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා මිලිටරි සහයක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මෙම හමුවේදී යුක්‍රේන සහ රුසියානු යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට යවන ලද හමුදා භටයින්ට රුසියාව ස්තූතිය පළ කර තිබෙනවා.

මොස්කව්හි හමුදා මෙහෙයුමට සහය වීම සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සමග භටයින් 10,000කට වැඩි ප්‍රමාණයක් ලබා දුන්නා.

එමෙන්ම රුසියාවේ කර්ස්ක් කලාපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වීම සඳහා හමුදා ඉංජිනේරුවන් සහ ඉදිකිරීම්කරුවන් 6,000ක් පමණ යැවීමටද උතුරු කොරියානු රජය ප්‍රතිඥා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.