යෞවන සමාජ සම්මේලන පිහිටුවීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයක පැවති නිලවරණවලදී නව නිලධාරී මණ්ඩලවලට මෙන්ම එම උත්සවවලට සහභාගී වූ අමාත්‍යවරුන්ටද තරුණයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. අද දිනයේදීත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර යෞවන සමාජ සම්මේලනවල නව නිලධාරීන් පවසන්නේ හිටපු නිලධාරීන්ගේ විරෝධය මතු වන්නේ ඔවුන්ගේ තනතුරු අහිමි වීම හේතුවෙන් බවයි. ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණා. එහිදී එක් තරුණියක් නියෝජ්‍ය ඇමතිවරයාගේ අදහස් දැක්වීමට විරෝධය පළ කර තිබුණා. මේ අතර බදුල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමද එම ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදීද තරුණයින් පිරිසකගෙන් අලුතින් පත්වූ නිලධාරී මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල වූ අතර විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. එමෙන්ම මාතලේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයද උණුසුම් මුහුණුවරක් ගත්තේ නව නිලධාරී මණ්ඩලයට විරෝධය පළ කිරීමත් සමඟයි. විරෝධතාවයෙන් අනතුරුව එම තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් සම්මේලනය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මේ අතර පසුගිය දින කිහිපය තුළම යෞවන සමාජ සම්මේලන පිහිටුවීමේදී ඇතිවූ ගැටලු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් යෞවන සමාජ සම්මේලන සඳහා පැමිණ එම වැඩකටයුතුවලට බාධා එල්ල කරන බවයි. මේ අතර යෞවන සමාජ සම්මේලන පිහිටුවීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව එම කටයුතු සිදු කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ. තරුණ සේවා සභාවල වැඩකටයුතු සිදු කිරීමේදී දේශපාලකයින් ඊට සම්බන්ධ නොවී අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා තරුණයින්ට එම අවස්ථාව ලබාදෙන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසුවේ.