රටේම කතාබහට ලක් වුණු භාතිය හස්තියා අද උදෑසන සිය ජීවන ගමනට සමු දුන්නා.

ඒ, වෙඩි ප්‍රහාරයකට ලක්ව දින ගණනාවක් පුරා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙරට වනාන්තර පද්ධතියේ ජීවත් වූ ඇතුන් අතරින් පිරිපුන්ම දළ යුගලක් හිමි වූ භාතිය නමැති හස්තියා දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වූ සත්ත්වයෙකු ලෙස ප්‍රචලිතව සිටියා.

වෙඩි ප්‍රහාරයකට ලක්ව මාස දෙකකට අධික කාලයක් පීඩාවට පත්ව සිටි මෙම හස්තියා ස්ථාන තුනක ඇද වැටී සිටියත් යළි නැඟී සිටීමට තරම් ශක්තිමත් වුණා.

එහෙත් වෙඩි ප්‍රහාර නිසා ඇතිවූ තුවාල හේතුවෙන් පොල්පිතිගම ප්‍රදේශයේදී යළි ඇද වැටුණු මෙම හස්තියා සුවපත් කිරීමට වනජවී දෙපාර්තමේන්තුව වෛද්‍ය කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් දැඩි ප්‍රයත්නයක නිරත වුණා.

දින ගණනාවක් ජලය තුළ සිටීම ඇතුළු හේතු ගණනාවක් මත මෙම ප්‍රතාපවත් හස්තියාගේ මාංශපේෂී දියවී ගොස් රුධිර සංසරණයටද බාධා එල්ල වී ඉකුත් දින කිහිපය පුරා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණා.

එක් පසකට දින ගණනාවක් වැටී සිටි මෙම හස්තියා අනෙක් පසට පෙරළා තැබීමට පශු වෛද්‍යවරුන් කටයුතු කළේ ඊයේ දිනයේදීයි.

අද දිනයේදී මෙම සත්ත්වයාට ඉන්දියාවේ සිට පැමිණි වෛද්‍ය කණ්ඩායමක්ද ප්‍රතිකාර කිරීමටද නියමිතව තිබුණා. එහෙත් ඒ වන විට භාතිය සිය අවසන් සුසුම් පොද වා තලයට මුදා හැර අවසන්.

මේ, භාතිය හස්තියාට ප්‍රතිකාර කළ ශ්‍රී දළදා මාළිගාවේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා.

භාතියගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි කටයුතු පිළිබඳවද වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා මෙහිදී කරුණු දැක්වුවා.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය හිමි කර ගත් භාතිය මෙරට වනාන්තර පද්ධතියේ වටිනාකම් රැසක් එක්කළා පමණක් නොව මෙරට ආර්ථිකයට ඩොලර් සොයා දෙන සාධකයක් බවටද පත්ව තිබුණා.

තවත් වසර ගණනාවක් මේ හස්තියාට එම මෙහෙවර ඉටු කළ හැකිව තිබුණද ඊට හරස් වූයේ මිනිසුන්ගේ අධම ක්‍රියාකාරකම් නොවේද?

රටට සම්පතක් වූ ඉතිරි වී ඇති වන අලින් රැකගැනීම බලධාරීන්ගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේද වගකීමක් බව නෙත් නිවුස් යළි යළිත් සිහි කැඳවනවා.

 

 

නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්