ඉරාන ඊශ්‍රායල් යුද ගැටුම් හේතුවෙන් කිසිදු ආකාරයකින් මෙරට ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ ඇති බවයි.

මෙම වසර අවසන් වන තුරු රටට අවශ්‍ය ඉන්ධන දැනටමත් ඇනවුම් කර ඇති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සඳහන් කළේ ඇණවුම් කර ඇති බොර තෙල් තොග මෙරටට ළඟා වීම සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති නොවන බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඇණවුම් කර ඇති ඉන්ධන පවා මෙරටට රැගෙන ආ හැකිද?

දැන් බොහෝ දෙනාගේ ගැටලුව වී ඇත්තේ ඉන්ධන මිල වැඩි වේවිද යන්න පිළිබඳවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩි වීමට කිසිම හේතුවක් මේ මොහොතේ නොමැති බවයි.

මේ අතර මැදපෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන් කටයුතු කරනු ඇති.