රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කර සිටියා.
විමර්ශන වලට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් තවත් නියෝගයක් නිකුත් කලා.
එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ වීඩියෝ ගත කළ සහ පටිගත කිරීම සිදුකළ  පුද්ගලයින් පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
එමෙන්ම අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් වරිය නියෝග කලා.
ඊට අමතරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ආරාධනයක් ලැබුණු බව සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලිපිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.
අදාල පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
" ස්වාමීනි ... පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මට බාධා කිරීම් ඇතිවුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි...එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න  වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවගන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා " යනුවෙන් ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේදී දිලීප පීරිස් මහතා සහ සෙසු නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
නැවතත් කරුණු දැක්වූ  අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා  ඉකුත් නඩු දිනයේ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍යයේ පිහිටි අදාළ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගි වීම සඳහා පැමිණෙන ලෙස 2023 වසරේ සැප්තැම්බර් මස 01 වනදා ඒවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා.
මේ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් දිනයේ අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකළ බව ඔහු පැවසුවා.
එම විමර්ශන වලදි අදාළ ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ජනාධිපති කාර්යාලයේ පවතින ලිපි ගොනු වල නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
මේ ලිපිය ගැන ජනපති ලේකම් සමන් ඒකනායක සහ පුද්ගලික ලේකම් දැන් නොසිටි බවත් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙය සාදන ලද ව්‍යජ ලියවිල්ලක් යැයි තමා ප්‍රකාශ කළේ එම නිසා බවත් සඳහන් කර සිටියා.
මෙම නඩුකරය පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා මෙම අවස්ථාවේදී ඇප පනත අදාළ වන්නේ නැතැයි සදහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සැකකරුට ඇප ප්‍රදානය කරන්නේ නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළා.
ඒ අනුව පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දක්වමින්
" ස්වාමීනි....මේක මහා මෝඩ වැඩක්. ජනාධිපතිවරයාට ඕනෑම සංචාරයකට යන්න පුළුවන්. ඒ ගමන් වියදම් සියල්ල විගණන කොමිසමෙන් විගණනය වෙනවා.
වරදක් තිබේනම් සිදු කරන්නේ අධි භාරයක් පැනවීමයි. මේ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. මේ ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවට විශාල අපකීර්තිමත් සිදු වී තිබෙනවා.  ස්වාමීනි... හිටපු ජනාධිපති තුමා සහභාගී  වී තිබෙන්නේ එංගලන්තයේ සාමි මණ්ඩලයේ සිටින ඉතා වැදගත් ස්වරාජ් පෝල් නමැති සාමිවරයා උපකුලපති ලෙස කළ ඇරයුමකට අනුවයි මේ සංචාරයට සහභාගී වී තිබෙන්නේ. මේ වගේ සාමිවරු ලංකාවට ඉතා වැදගත්. කොටි සංවිධානය තහනම් කිරීම, ජී.එස්.පී සහනය ලබා ගැනීම වැනි කටයුතු වලට මෙම සාමි වරුන්ගේ සහාය ඉතා වැදගත්. මේ වගේ ක්‍රියාවලින් එවැනි ස්වාමිවරුන් ශ්‍රී ලංකාව සමග අමනාප වෙනවා. ඒක අපට පාඩුවක්. අවාසනාවකට මේ සාමිවරයා අවාසනාවන්ත ලෙස මියගියා. මේ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට පත්වීම ආරංචි වී ඇති  වූ කම්පනය නිසා ඔහු මිය ගියාද කියලා දන්නේ නෑ " යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කළා.
" ස්වාමීනි....මේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් කර තිබෙනවා.ඒ පරීක්ෂණ කළේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා." යනුවෙන් කියා සිටියා.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා" ස්වාමීනි... සැකකරුගේ හෘද වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘද වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩු වල රෝගි තත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යශයේ උඩ කොටසේ සංකූලතාවයක් තිබෙනවා. ඒ වගේම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24 ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාර ගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා." මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සිය සේවා දායකයා ඇප මත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී දිලීප පීරිස් මහතා සහ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
ඒ අවස්ථාවේදී නැගී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මෙම නඩුවේ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තමා සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පමණක් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දුන්නා.
ඒ සමග රැස්ව සිටි නීතිඥවරු ඇමතු නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා
" අපි මෙතනට නීතිඥවරු පන්සීයක් විතර ඇවිත් ඉන්නවා. අපි මේ නඩූවේ නැත්නම් යමූ. " යනුවෙන් වචන හුවමාරුවක් ඇති කර ගත්තා.
පසුව සෙසු නීතිඥවරු මැදිහත් වී උණුසුම් තත්වය සමනය කරනු ලැබුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා
" ස්වාමීනි ස්වරාජ් පොල් නමැති සාමීවරයා ලංකාවට විශාලයක් සේවයක් කර තිබෙන බව ජනාධිපති නීතිඥතුමා සඳහන් කළා. මං කැමතියි ලංකාවට කරපු එක සේවයක් ගැන කියන්න කියලා. ඒක කියාගන්න බෑ. ස්වාමීනී මේක අවභාවිතාවක් නෙවෙයි. මහජන මුදල් කාබාසීනියා කිරීමක්. මෙම නඩුකරයට අදාළ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදුකළ යූටියුබ්කරුවකු පිළිබඳවත් විමර්ශන කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා. ඒ අනුව ඇප ඉල්ලීම සමග පසුගිය 22 වනදාට වඩා අලුත් සුවිශේෂී කරුණු කිසිවක් අද ඉදිරිපත් වෙලා නෑ. මේ සැකකරුට ඇති රෝගී තත්ත්වයන් පිළිබදව අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතුයි" ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  සැකකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට වාර්තා කර ඇති බවත් මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු විසින් වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.
එම වාර්තාවට අනුව මෙම සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පසුවන බවත් පාලනය කර නොහැකි අධි රුධිර පීඩන තත්ත්වයකින් පසුවන බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බවත් වකුගඩු රෝගී තත්ත්වයක් මෙන්ම නිදාගැනීමට බාධා සහිත තත්වයකින් පසු වන බවත් සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම සැකකරු සමීප වෛද්‍යා අධීක්ෂණය යටතේ පැවතිය යුතු පුද්ගලයකු බවත් එසේ නොවූවොත් ඔහුගේ ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බවටත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා.
ඒ අනුව මෙම වෛද්‍ය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 29 වනදා කැඳවීමටද නියම වුණා.