රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා තවත් රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.

භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත් වුණා. ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබාදීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙසයි. බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට හිමි බැවින් ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත්ව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ හේතුවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලයක ගීතයක් පළ කිරීමට ද හැකියාවක් නොමැති බවද මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා. මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. එබැවින් මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති අධ්‍යයනය කරමින්ද, සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.