රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ යුද්ධයක් බවට ධවල මන්දිර වෙළඳ උපදේශක පීටර් නව්රෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු පාර්ශ්වයෙන් මෙවැනි ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය හමුවේ අමෙරිකාව සහ ඉන්දීයව අතර පවතින සබඳතා පලුදු වෙමින් ඇති පසුබිමකයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ උපදේශක පීටර් නව්රෝ පවසා ඇත්තේ මොස්කව්හි මිලිටරි ආක්‍රමණයට ඉන්ධන සපයන්නේ ඉන්දියාව රුසියාවෙන් බලශක්තිය අඛණ්ඩව මිලදී ගැනීම බවයි. රුසියාවෙන් වට්ටම් සහිත ඉන්ධන මිලදී ගැනීම නතර කළහොත් අමෙරිකාව විසින් ඉන්දියාවට පනවා ඇති තීරු බදුවලින් සියයට 25ක ප්‍රතිශතයක් අඩුවනු ඇති බවද ධවල මන්දිර වෙළඳ උපදේශකවරයා ප්‍රකාශ කර තිබෙනවා. බ්ලුම්බර්ග් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට පැනවූ සියයට 50ක ආනයනික තීරුබදු බලාත්මක වී පැය කිහියකට පසුවයි. අදාල තීරු බදු ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ ඊයේ දිනයේ සිටයි.