ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ ආගමික වතාවත්වලින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව
මේ භූමිය ඓතිහාසික පින් බිමක්.
අනෙක් පසින් බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකර ලද මහා විහාරයක්.
ඒ වගේම බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයේ ඉදි කරන ලද විහාරයක්.
ඒ සෑම අතින්ම බලන කළ මෙය ඓතිහාසික පුණ්‍ය භූමියක්.
අපිට මෙවැනි ස්ථාන, මෙවැනි සංස්කෘතික අවස්ථාවන් වැදගත් වෙන්නේ ඇයි? වර්තමාන ලෝකයේ එක පැත්තකින් තාක්ෂණය, තව පැත්තකින් මහා කොන්ක්‍රීට් වනාන්තර තුළ මිනිස්සු ජීවත් වෙනවා.
ඒ සමාජයේ මිනිස්සු බොහෝ දුරට භෞතික සම්පත්, භෞතික ජීවිතය වඩාත් වැඩියෙන් සර්වසම්පූර්ණ කරගැනීම සඳහා වෙහෙසක් දරනවා.
ඒ වෙහෙස විසින්ම මිනිසුන් තුළ ආරක්ෂා කරගත යුතු සමාජ වටිනාකම්, මිනිසුන් තුළ ආරක්ෂා කර ගත යුතු මානවවාදය මනුෂ්‍යත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් දිය වෙමින් යනවා.
අපේ ඓතිහාසික උරුමයන් එක්ක ඓන්ද්‍රීය සබඳතාවයක් නැතුව ඓතිහාසික උරුමයන් එක්ක අක්මුල් විහිදවා ගන්නේ නැතිව, සමාජයකට ඉදිරි ගමනක් නැහැ.
ලෝකයේ දියුණුයැයි සම්මත ඕනෑම රාජ්‍යයක්, ඔවුන්ගේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින්, සංරක්ෂණය කරමින්, ඒ මත පාද තබා ගෙන තමයි තමන්ගේ සංවර්ධන මාවත, තමන්ගේ සමාජයේ දියුණුව අපේක්ෂා කරන්නේ.
එහෙම සොයා ගෙන ගියොත්, අපේ ඓතිහාසික උරුමය තියෙන්නේ කොතැනද? අපේ ඓතිහාසික උරුමය තියෙන්නේ විශේෂයෙන්ම, මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපට ලැබුණු බෞද්ධ දර්ශනය තුළයි.
එය අපේ සමාජය සංස්කෘතිකමය සමාජයක් බවට පරිවර්තනය කරන්න ඉවහල් වුණා.
එනිසා අපේ සමාජය ගොඩනැගෙන්නේම බුදුදහම මත තිබුණු කරුණාව, මෛත්‍රිය ආදී ඉතාමත් වැදගත් ගුණාංග මෙන්ම චතුරාර්ය සත්‍යය ආදී ධර්ම කරුණු පොදිබැඳගෙනයි.
අපේ යතිවරයන් වහන්සේලා අවුරුදු 2300කට අධික කාලයක් මේ ගම් නියම්ගම් පුරා සැරිසරමින් මේ ධර්මයේ හරය අපේ රටේ ගිහියන්ට පැහැදිලි කරදී තිබෙනවා. වසර 2300කට අධික කාලයක් අපේ යතිවරයාණන් වහන්සේලා මේ ව්‍යායාමයේ යෙදී තිබෙනවා.
ඒ මත තමයි මේ සමාජය සංස්කෘතිකම සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ.
අනෙකා ගැන සහකම්පනයක් තියෙන සමාජයක්, සාමූහික සමාජයක්, සතා සිවුපාවා කෙරෙහි කරුණාව දක්වන සමාජයක්, මිනිසුන් හැටියට අනෙකා කෙරෙහි ආදරය, කරුණාව, මෛත්‍රිය පතුරන සමාජයක් ගොඩනැඟෙන්නේ.
එනිසා ශ්‍රී ලංකාවේ අපටම උරුම වූ සංස්කෘතියක් සහ ඓතිහාසික වටිනාකම් තිබෙනවා.
අපේ සංවර්ධන මාවත අපේ රට ගොඩනැඟීමේ මාවත, ඒවා පිළිබඳ අපට විවාදයන් තියෙන්න පුළුවන්.
හැබැයි අපි කාටවත් ජාතික උරුමයන් මත පයතබා ගෙන තමයි මේ සංවර්ධන මාවතක් අප තෝරා ගත යුතු වන්නේ යන්න පිළිබඳව විවාදයක් නොතිබිය යුතුයි.
විශේෂයෙන්ම ඔබ හිතන්න අවුරුදු 2186ක් පරම්පරා 100කට ආසන්න ප්‍රමාණයක්, මේ රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙනවා.
ඒ ස්වල්ප කාලයක්ද? අවුරුදු 2186ක් අවිච්ඡින්නව බිඳ වැටෙන්නට නොදී අඛණ්ඩව පවත්වාගෙන යාමේ රහස කුමක්ද? ඒ රහස වෙන කුමක්වත් නොවෙයි, මේ සංස්කෘතික මංගල්‍යයන් සහ අපේ ජනතාවගේ ජන ජීවිතය අතර ඉතාමත් සමීප සබඳතාවයක්.
අදත් මා දන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පුණ්‍ය භූමියට රැස් වෙලා මෙම පෙරහර මංගල්‍යය නරඹන්න, ඊට සාධුකාර දෙන්න, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න පෙළඹිලා තිබෙනවා.
මේ සංස්කෘතීන් සහ අපේ ජනතාවගේ ජීවිතය අතර ඉතාමත් අඛණ්ඩ සබඳතාවක් තිබෙනවා බව එයින් පිළිබිඹු කෙරෙනවා.
අපේ හාමුදුරුවන් වහන්සේ, නිලමේතුමන්ලා, දිසාපතිතුමාලා මේ කරන කාර්ය තමයි ඓතිහාසික උරුමයේ අඛණ්ඩතාව තව තවත් ඔප් නංවමින්, තව තවත් වර්ධනය කරමින් තව තවත් ඉදිරියට ගෙන යාම. එනිසා දින 15ක් පුරා මේ පෙරහර මංගල්‍යය පැවැත්වීම, සතියක් පුරා සති පිරිත් පැවැත්වීම, මේවා ඉතාමත් භාරධුර කාර්යන්.
නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, දිසාපතිතුමා, නිලමේතුමන්ලා, ප්‍රාදේශීය දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාගේ ඉමහත් කැපවීමෙන් අද වන විට ඉතාමත් සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන්න සමත් වී තිබෙනවා.
ඒ පිළිබඳව අපේ නාහිමිපාණන් වහන්සේ ඇතුළු, මහා සංඝරත්නයට, සංවිධායක මණ්ඩලය නියෝජනය කරන සියලුදෙනාට අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමන්න කැමතියි.
මේ ඓතිහාසික උරුමයත් එක්ක පවතින අඛණ්ඩතාව නිසා තමයි අපේ සමාජය යහපත් සමාජයක් ලෙස ගොඩනැඟීමට හැකියාව ලැබෙන්නේ.
අපිට ඉතාමත් හොඳ සතුට දැනෙන කරුණු තිබෙනවා.
පෙරහර මංගල්‍යය දෙස බලාගෙන සිටින විට තරුණ-තරුණියන් මෙම සංස්කෘතික අංගයන් එක්ක ගැටගැසී තිබෙනවා.
අපට බලාපොරොත්තුවක් තිබෙනවා.
සාමාන්‍යයෙන් ප්‍රවෘත්තිවල, සිදුවීම්වල අහන්න, දකින්නේ ලැබෙන්නේ ඒ ඓතිහාසික සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වුණු නව තරුණ පරම්පරාවක් ගොඩනැඟෙන බවයි. හැබැයි පෙරහර මංගල්‍යය දෙස බලාගෙන ඉන්න විට තරුණ තරුණියන් තමන්ගේ හැකියාවන්, තමන්ගේ සංස්කෘතික උරුමයන් ඉතා හොඳින් ශක්තිමත්ව ධාරණය කර ගනිමින්, ශක්‍තිමත්ව ඒ මත පිහිටමින් මේ සංස්කෘතිය ඉදිරියට ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වෙහෙසක් දරන බව පෙන්නුම් කරනවා.
ඒ නිසා මේ පෙරහර මංගල්‍යයට සහභාගි වන සියලුම කලා ශිල්පීන්ට, එම තරුණ පරම්පරාවට අප බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි.
ඒ නිසා මේ අඛණ්ඩතාව පවත්වා ගෙන යාම වෙනුවෙන් වෙහෙස දරන සියලුදෙනාට අපේ ගෞරවය පිරිනැමිය යුතුව තිබෙනවා ඒ වගේම, විශාල ලෙස සියලු සාධක සම්පූර්ණ වී තිබුණත් අප සමාජයක් ලෙස පිරිහෙමින් තිබෙනවා.
මේ සමාජය යළි යථාවත්භාවයට පත් කළ යුතුයි.
මේ මියැදෙමින් තිබෙන සමාජයට ජීවය කැටුව ආ යුතුයි.
එය තිබෙන්නේ අන් කවරක් මත නොව, අපේ ඓතිහාසික උරුමයන් සොයාගෙන යෑම මතයි.
එම ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදුවා ගත් නව ජාතියක් ලෙස අපි ගොඩනැඟිය යුතුයි.
අපි කිසිසේත්ම පාවෙන අක්මුල් නැති මුල් සිඳුණු ජාතියක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදිය යුතුයි.
අපේ උරුමය රඳා පවතින්නේ මේ ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගෙන මේ ජාතිය ගොඩනැඟුවොත් විතරයි.
ඒ නිසා සංවර්ධනයේ මාවතත්, ලාංකේය ජාතිය ගොඩනැඟීමේ මාවතත් මේ ඓතිහාසික උරුමයන් මත ගොඩනැඟී තිබෙනවා.
ඒ නිසා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් අපේ රට පුරා පැවැත්විය යුතුව තිබෙනවා.
නැවත නැවත අප සමාජයේ අලුත් හඬකින් අලුත් ප්‍රබෝධයකින් අලුත් හැඟීමකින් අවදි කළ යුතුව තිබෙනවා.
මියැදෙමින් තිබෙන සමාජයට අලුත් හුස්ම, අලුත් ජීවය කැටුව ආ යුතුව තිබෙනවා.
ඒ නිසා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් තවතවත් රජයක් හැටියට අප දිරිගැන්විය යුතුයි.
ජනතාව හැටියට ඒවාට සහභාගි විය යුතුයි. තමන්ගේ උරුමයන් තමන් ආරක්ෂා කරගගත යුතුයි.
මේ උරුමයන් මත පය තබාගෙන අපි නැඟිටින්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් මේ අවස්ථා ඉතා වැදගත් වැදගත් අවස්ථා ලෙස අප සලකනවා.
ඒ නිසා අප සියලුදෙනා එක්ව ඓතිහාසික උරුමයන් මත පදනම්ව නව ජාතියක් ගොඩනඟමු.
ඒ වෙනුවෙන් අපි සියලුදෙනා එකතු වෙමු කියලා ආරාධනා කරනවා.