ශ්‍රී ලංකාවෙන් බැහැරව ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයන කරුවන් පිරිසක් විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම් ජනවාරි මස 14 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා

ඒ මෙම පෙත්සම් අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර වාහන ආනයන සමාගමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

තවත් පෙත්සම්කාර සමාගම් කීපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් ණයවර ලිපි විවෘත කර වාහන මෙරටට ආනයනය කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව පෙන්වා දුන්නා.

මෙම ණයවර ලිපි විවෘත කර වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා වාහන ආනයනය කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙකක් කිසිසේත්ම උල්ලංඝනය කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව ඉකුත් ඔක්තෝබර් මස 24 වනදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා දෙසැම්බර් මස 03 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකාර ශ්‍රී ලංකා රේගුව ඇතුළු පාර්ශ්වවලට නියම කළා.

ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සංකාර පාර්ශවයට නියෝග කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය සඳහා ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.