Published
ආනයනය කරනු ලබන රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර මෙරටට ආනනය කිරීමේ හේතුව මත ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාදීකරණය අද ශ්‍රී ලංකා රේගුවට නියම කළා.
මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයන කරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15 ක් පමණ අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.
මෙම පෙත්සම් අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කරවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පොදුවේ අධිකරණය හමුවේ අවධාරණය කළේ තම සේවාදායකයින් විසින් ආනයනය කළ මෙම වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
මෙම වාහන සියයට 35 ක අධිභාරයකට යටත්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පෙත්සම්කරුවන් සියලු දෙනා තරයේ විරුද්ධ වන බවත් එම නීතිඥවරු තර්ක කලා.
මෙම වාහන ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ රේගුව විසින් අනුමත රෙගුලාසි හා ගැසට් නිවේදන වලට අනුකූලව බවත් ඒවා රදවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එම නීතිඥවරු තර්ක කළා.
මෙහිදී පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන දිගින් දිගටම රේගුව විසින් රඳවා ගැනීම නිසා තම සේවාදායකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි සඳහන් කළා.
මෙම වාහන අනාරක්ෂිත ආකාරයෙන් රේගුව තුළ රඳවා තිබෙන බවත් මේ හේතුවෙන් ඒවාට අව් රශ්මියෙන් මෙන්ම වෙනත් බාහිර සාධක වලින් හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙසේ සිදුවන හානිවලට රක්ෂණ වන්දි අයකර ගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම වාහන පුද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කර සිටියා.
මෙහිදී විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට පෙන්වා දුන්නේ මෙම වාහන මුදා හැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සියයට 35 ක අධිභාරය පැනවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමථයක් ඇතිකර ගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසයි.
ඒ අනුව මෙම නඩුකර වල පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් සංවිධානය කර මෙම ගැටළුව සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුන්නා.
එමෙන්ම මේ වන විට රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් විමසා ඒ පිළිබඳව ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට නියම කළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය දින නියම කළා.




