මෙරටදී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් පිටත වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා අදාල පෙත්සම් ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සිය වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ පෙත්සම් 15 ක් පමණ අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම වාහන කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුම් දීමත් කර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව අදාල වාහන සමාගම් ඇපකරයක් හෝ බැංකු ඇප කරයක් තැබීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය යුතු බදු ගෙවීමෙන් අනතුරුව අදාළ වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ්, ෆයිසර් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම කොන්දේසි මත අදාල පෙත්සම් සමථයට පත් කර ගැනීමට තිබෙන හැකියාව දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සම් සමතයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සදහා එය මේ මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.