ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවද ඇතැම් සේවකයින් අද සේවයට වාර්තා කළා.

සේවයට වාර්තා කළ සේවකයින් පැවසුවේ වෙනත් දිනවල මෙන් අද දිනයේ තමන් සේවය කරන බවයි.

කිසිදු බාධාවකින් තොරව අද දිනයේ සිය සේවාවන් ඉටුකර ගැනීමට හැකි වූ බව පාරිභෝගිකයින් ද පැවසුවා.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටි විදුලි සේවකයින් ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවයක ද නිරත වුණා.

මේ හේතුවෙන් එම ස්ථානය අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද පැවතියා. ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂකයින්ට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ සිය සාමාජිකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ විදුලි සේවකයින් සහ විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය අද විවිධ අදහස් පල කළා.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ජනාධිපතිවරයා සිදු කළ එම ප්‍රකාශයට හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාඨලී චමිපික මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.