මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී සහ ඔහුට  ආධාර අනුබල දුන්නේ යැයි කියන දිනේෂ් කුමාර නමැති දේවාල කපුවෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරුවන් ඇප මත මුදාහන ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය සඳහන් කළා.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී බන්ධනාගාරගත සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(අ) වගන්තිය  සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව සඳහන් කළා.
ලොකු පැටී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් ලැබෙන මුදල් සැකකාර දේවාල කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔවුන් සඳහන් කළා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නැමැතිගේ ප්‍රකාශයට අනුව ඇය ලොකු පැටී නමැත්තාගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කර එම මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව ප්‍රකාශ කර ඇතැයි එම නිලධාරින් පැවසුවා.
ඇය විසින් රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් මෙම ගිණුමට තැන්පත් කර ඇති අතර මේ ආකාරයෙන් වරින් වර අදාල ගිණුමට මුදල් බැර වී තිබෙන ආකාරය විමර්ශනවලදී නිරීක්ෂණය වූ බවත් පොලිසිය පැවසුවා.
මෙම මුදල් බැර වන්නේ සැකකාර කපුවාගේ දැනුම මත බවත් මේ ආකාරයෙන් රුපියල් කෝටි 33 කට ආසන්න  මුදලක් තැන්පත් වී ඇති අතර ඉන් කෝටි තිස් දෙකක් චෙක්පත් මාර්ගයෙන් මෙම සැකකාර කපුවා විසින් ලබාගෙන තිබෙන බවත් ඔවුන් සඳහන් කළා.
මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ලැබී ඇති බවට සැක කෙරෙන බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් අදාළ මුදල් යළි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදවා තිබේදැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.
මෙම විමර්ශනවලදී තවත් ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත් ඒ හරහා රුපියල් කෝටි 1000 ක් පමණ මුදල් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියා.
මෙම අවස්ථාවේදී  සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී සැකකාර ලොකු පැටී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් තම සේවාදායකයා මෙරටට රැගෙන ආවේ පසුගිය මැයි මස බව පෙන්වා දුන්නා.
එම නිසා මෙම මුදල් හුවමාරු වූ බව කියන කාලසීමාවේ ඔහු මෙරට නොසිටි බව සඳහන් කළ නීතිඥවරයා තම සේවා දායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඇපමත මුදා හැරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළා.
සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාගේ ගිණුමට බැර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් නොව බැතිමතුන් විසින් දේවාලයට පරිත්‍යාගය වශයෙන් ලබාදුන් මුදල් බව සඳහන් කළා.
සිය සේවා දායකයාට සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇපමත මුදාහන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ හේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් පැහැදිලි කරමින් තමන් ලිඛිත නියෝගයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අදාළ නියෝගය ලබන 31 වනදා ලබාදෙන බවත් මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා.