ආසියානු කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම මෙවර ද සමත් වුණා. ඒ, පස මිතුරන් වූ පාකිස්තාන කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146ක්. සාහිබ්සාඩා ෆර්හාන් පන්දු 38කදී ලකුණු 58ක් රැස් කළා. ෆක්හාර් සමාන් ලකුණු 46යි. කෙසේවෙතත් සෙසු කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. කුල්දීප් යාදෙව් කඩුලු 04ක් බිඳ හෙලුවා. ජයග්‍රාහී ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා. ඒ අනුව පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිති හරඹය හේතුවෙන් නවවන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් වුණා. තිලක් වර්මා පන්දු 53කදී රැස් කළ ලකුණු සංඛයාව 69ක්. කෙසේවෙතත් මෙම තරඟාවලිය පුරා ඉන්දීය ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් අභිෂේක් ෂර්මා ඊයේ රැස් කළේ ලකුණු 05ක් පමණයි. එමෙන්ම ගිල්, සූර්යකුමාර්ද ලකුණු 20ක් තුළ යළි ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.