Published
ලෝක ළමා දිනය අදයි. ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය යෙදී ඇත්තේ අදටයි. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයක්. මෙවර ලෝක ළමා දිනය මෙරටදී සමරන්නේ “ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” තේමාව යටතේයි. ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේත් හෙට දවස ගැන නෙත් නිවුස් අපි කතා කළා පුද්ගල සංවර්ධන පුහුණුකරු උදයා දේවාමුල්ල මහතා සමග.
දරුවා තේරුම් ගන්න දෙමාපියන් කළ යුත්තේ කුමක්ද? විවිධ ව්‍යසනයන්ගෙන්, විවිධ අර්බුදවලින් දරුවන් බේරා ගන්න දැන් කළ යුත්තේ කුමක්ද? මේ අතර ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා ආණ්ඩුව අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවයි. මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට නැවත ප්‍රතිඥා දෙන බවත් ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බවත් ජනාධිපතිවරයා පවසනවා. එමෙන්ම අපගේ වැඩිහිටියන් මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නේ දරුවන් කුමන පසුබිමක, කුමන තත්ත්වයක් යටතේ ජීවත් වුව ද “සියලුම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින්” කිසිඳු දරුවකු අත නොහැර, දරුවන්ට හිතකාමී පරිසරයක ජීවත් වීමේ අවස්ථාව උදාකර දීමට රජය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි. වැඩිහිටියන්ගේ ආර්ථික සුරක්ෂාව මෙන්ම ඔවුන් රැකබලා ගැනීමේ කටයුතු සිදු කරන දරුවන් සහ ආයතන වෙත ශක්තියක් වීම මෙන්ම රැකවරණය අවැසි වැඩිහිටියන් වෙනුවෙන් රැකවරණ සැපයීමේ වගකීම වෙනුවෙන් මූලික වීම රජය ලෙස අපගේ වගකීම බවත් අග්‍රාමාත්‍යවරිය පවසනවා. මේ අතර ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.