යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුනා

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරුණා.

වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ රජයේ දායකත්වය උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කර සිටියා.

මෙම සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ වැවිලි සමාගම් නියෝජිතයෝ ක්ෂේත්‍රයේ උන්නතියට අදාළව සිය අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.