මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ට සිදු වන බලපෑම පසුගිය කාලසීමාව තුළ වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෛද්‍යවරුන් පවසන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලසීමාවේදී වාර්තා වී ඇති බවයි.

පසුගිය කාලසීමාවේදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තුවාල ලැබූ වන අලින් 10 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

සතුන් දඩයම් කිරීම සඳහා අටවා ඇති බඳින තුවක්කු ක්‍රියාත්මක වීම, හක්කපටස්වලට ගොදුරු වීම සහ වෙඩි වැදීම ආදී හේතූන් මත එම වන අලින් තුවාල ලබා සිටි බවයි පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

හොරොව්පතාන, විලච්චිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ කලා වැව යන ප්‍රදේශවලින් එවැනි සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

අරිට්ඨ නමැති බොහෝ දෙනෙකුගේ ආදරයට ලක්වූ හස්තියෙකුගේ ඉදිරි දකුණු පාදයේ තුවාලයකටද පසුගිය කාලසීමාවේදී වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය කාලසීමාවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි අග්බෝ නමැති හස්තියා ප්‍රතිකාර ලබා දීමෙන් පසු සුවය ලබා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද පශු වෛද්‍යවරුන් සඳහන් කළා.