අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව දකුණු කොරියාවේ බූසාන්හීදී සිදුව තිබෙනවා. අමෙරිකානු - චීන නායකයින් දෙපළ අතර එලෙස මුහුණට මුහුණ හමුවක් තිබුණේ වසර 06කට පසුවයි. එහිදී අදහස් දක්වා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී දෙපාර්ශ්වය අතර අපූරු සබඳතා ඇති වේවි යන්නයි. මෙම හමුව විශාල ගෞරවයක් බවත් දෙරට අතර දිගු කාලයක් අපූරු සම්බන්ධතාවක් පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී චීන ජනාධිපතිවරයා ඇගයීමට ලක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ රටක ශ්‍රේෂ්ඨ නායකයෙකු බවයි. “ඔබ අප සමග සිටීම ගෞරවයක්” ලෙසද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
අමෙරිකානු - චීන නායකයින් දෙපළගේ මෙම හමුව සිදු වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු හේතුවෙන් දෙරට අතර වෙළඳ ආතතීන් උත්සන්න වෙමින් පැවති පසුබිමක් තුළයි. චීන - අමෙරිකානු වෙළඳ ගැටලු දෙපාර්ශවයටම ප්රතිලාභ සැලසෙන පරිදි සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී අවධාරණය කර තිබෙනවා. වෙළඳාම සහ ආර්ථිකය වැනි ක්ෂේත්රවල ආරවුල් නිසි ලෙස කළමනාකරණය කළ යුතු බව පවසමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එකඟතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව අමෙරිකාව චීන අපනයන සඳහා කිසිදු අමතර තීරු බදු පැනවීමක් ඉදිරියේදී සිදු නොකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී සහතික වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 2019 වසරේ ජපානයේ ඔසාකාහි පැවති ජී-20 සමුළුවේදී අමෙරිකානු - චීන නායකයින් දෙපළ මීට පෙර අවසන් වරට මුහුණට මුහුණ හමුවී තිබුණා.




