මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ජැමෙයිකාවට ඇතුළු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මෙලීසා ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව පස් වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස කැරිබියන් දූපතට ඇතුළු වනු ඇති බවටයි අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

පැයට කිලෝ මීටර් 282ක උපරම වේගයකින් එය කැරිබියන් දූපතට ඇතුළු වනු ඇති බවට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් අධික වැසි, ගංවතුර සහ කුණාටු රළ ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

ඒ අනුව ජැමෙයිකාවේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර් 100ක පමණ අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ අනුව සමස්ත දිවයිනම තර්ජනයට ලක්විය හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස ජැමෙයිකානු රජය සිය පුරවැසියන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ජැමෙයිකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමටද එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.