හදසි ආපදා තත්ත්වයකදී වඩා වැදගත් වන්නේ පෙර සූදානම බව හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතා පවසනවා.
මීට පෙර ශ්‍රී ලංකාවට බලපෑ අධික ගංවතුර තත්ත්වයන්වලදී ජනතාවගේ ජීවිත බේරා ගත්තේ ඒ හේතුවෙන් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මේ අතර, ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල්ව විමසා බැලීම මෙහිදී සිදු කෙරුණා.
එමෙන්ම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
මීට අමතරව වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසයි අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ.
ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසු අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බවයි නිලධාරීන් එහිදී පවසා ඇත්තේ.




