ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් පොලීසිය සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි.
ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනාගෙන් කනංකේ පොලීසිය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර ඒ සඳහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී ඔවුන් දෙදෙනා පැහැර ගැනීමකට ලක්ව තිබුණා.
ඒ හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවක් හමුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට සිදු වුණා.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභික ධුර 22ක් හිමි කරගෙන තිබූ අතර සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමි කරගෙන තිබූ සභික ධුර සංඛ්‍යාවද 22ක්.
ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පමණ සභාවේ කටයුතු ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණා.
ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන ලෙස පක්ෂයේ සෙසු නියෝජිතයින් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේ.
පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවයි.
එම තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගර්භය තුළට පැමිණ සිය විරෝධය පළ කළා.
එම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට හැකියාවක් නොලැබුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්ද පැවසුවේ.
ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගනු ලැබුවා.
එලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් යන මන්ත්‍රිවරියයි.