විදුලි බිල වැඩි නොකළේ විපක්ෂයේ විරෝධතා හේතුවෙන් බවට විපක්ෂ නායකවරයා ඇතුලු විපක්ෂයේ කණ්ඩායම් සිදු කරන ප්‍රකාශ විහිලු සහගත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

විපක්ෂය කුමන ප්‍රකාශ සිදු කළද ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර වතු කම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයට පෙර එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡා වට කිහිපයක් මේ වන විට පවත්වා ඇති බවද ඔහු සඳහන් කළා.

වතු කම්කරුවන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී කියා සිටියා.