විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදි සේදුම් කුඩු, චොකලට් සහ සුවඳ විළවුන් අඩංගු පෙට්ටි තුළ, තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 9,000ක් අඩංගු දුම්වැටි කාටූන් 04ක් සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ.

එලෙස සොයා ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු කන්තලේ ප්‍රදේශයේ පදිංචි, ඩුබායි හි වසර තුන හමාරක කාලයක් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.