වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ පොලිස්පති ද? නියෝජ්‍ය පොලිස්පති ද? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවයි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද පස්වරුවේ පල කළේ මෙවන් අදහසක්. එහෙත් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ කිසිදු දේශපාලඥයෙකුගෙන් පලි ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි. කෙසේවෙතත් නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද එල්ල කළේ මෙවන් චෝදනාවක්. මේ අතර හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය “X” ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. එමගින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවයි. මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවත් නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳ තමන් දැඩි ලෙස හෙළා දකින බවත් විපක්ෂනායකවරයා පවසනවා.