2024 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිය ප්‍රතිඵල ලේඛනය නීති විරෝධී ලෙස සංශෝධනය කළ ගාල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින්.

අදාළ සිසුවිය සිය ප්‍රතිඵල සංශෝධනය කර විභාග දෙපාර්තමේන්තුවට පැමිණ තමන්ට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රතිඵල වැරදි බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඇය විසින් සංශෝධනය කළ ප්‍රතිඵල ලේඛනයේ පිටපතක්ද විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරමින්.

ඒ අනුව එම සිසුවිය ලබාදුන් ප්‍රතිඵල ලේඛනය සහ විභාග දෙපාර්තමේන්තුව සතු ප්‍රතිඵල ලේඛනය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ ඇය විසින් අදාළ ප්‍රතිඵලලේඛනය සංශෝධනය කර ඇති බවයි.

ඒ පිළිබද විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සිසුවියට දැනුම් දුන්නද ඇය විසින් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

එවන් පසුබිමක් තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් එම සිසුවිය ඉගෙනුම ලැබූ ගාල්ල ප්‍රදේශයේ පාසලේ විදුහල්පතිවරයා හරහා ඇයගේ වාර විභාග කිහිපයක ප්‍රතිඵල ලේඛන කැදවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදීද අනාවරණ වි ඇත්තේ එම සිසුවිය විසින් පාසලෙන් තමන් වෙත ලබාදුන් ප්‍රතිඵල ලේඛනවල ලකුණුද ඉහළ දමා ගෙන ඇති බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සිසුවියට අදාළ කරුණ පෙන්වා දුන්නද ඇය විසින් එලෙස ප්‍රතිඵල සංශෝධනය කර ඇති බවට විසින් පිළිගෙන නැහැ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සංශෝධනය කිරීමට අදාළව කූඨ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිසුවිය එලෙස ප්‍රතිඵල සංශෝධනය කිරීමේ සිද්ධියට අදාළව සිය දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

කූඨ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ වැරදිකරුවන් වන විභාග අපේක්‍ෂකයන්ට වසර පහක කාලයක් රජයේ විභාග අත්හිටුවීමට හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.