2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ එවක කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මං මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව කුරුදූවත්ත පොලීසියේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මං මාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර තිබෙනවා.